නිදහස්
අදහස් වෙත පිවිසීමට ඇති හොඳම ස්ථානය වන්නේ පුස්තකාලයයි. එමෙන්ම අධ්‍යාපනයේ හදවත වන්නේ
ද පුස්තකාලයයි. මෙලෙස හඳුන්වනු ලබන පුස්තකාලය මගින් මිනිසාගේ පස්වන අවශ්‍යතාවය වන තොරතුරු
අවශ්‍යතාවය සපුරනු ලබන අතර පිරිපුන් මිනිසසුන් බිහි කිරිම පුස්තකාල සේවාවේ අවසන් අරමුණ
වන බව පෙන්වා දිය හැකිය. මුල් කාලීන පුස්තකාලයක අරමුණ වූයේ එහි ද්‍රව්‍ය සංරක්ෂණය කිරීම,
පොත්පත් අල්මාරිවල දමා යකඩ දම්වැල් වලින් බැඳ ආරක්ෂා කරන ලද අතර වර්තමානයේ එම තත්ත්වය
වෙනස් වී ඇත. එනම් අදවන විට “පොත් ඇත්තේ භාවිතය” සඳහා යන්න අරමුණු කොටගෙන පුස්තකාලය
සේවා මධ්‍යස්ථානයක් බවට පත්වී හමාරය.
මෙලෙස පුස්තකාල පාඨකයාට විවෘත කිරීමත් සමඟ පාඨක
සහභාගිත්වය වැඩි වී ඒ තුළින් විවිධ ගැටලු පැන නගී. එනම් පුස්තකාල සම්පත් නිසි ලෙස ඇතැම් පාඨකයින්ගේ ආරක්ෂා කරගන්නේ කෙසේද
යන්න පැන නගින ප්‍රධානම ගැටළුවයි. එමෙන්ම පුස්තකාල ද්‍රව්‍යයන්ට හානි පැමිණවීම, සොරකම්
කිරීම වැනි ගැටළුද බහුල වෙමින් පවතින බව හඳුනාගත හැකිය. මෙලෙස එල්ල වන බලපෑම් ලෝකයේ
සෑම රටක්ම පාහේ දැකිය හැකි අතර උදාහරණයක් ලෙස ඇමරිකානු පුස්තකාලයක සිදු කරන ලද සමීක්ෂණයකින්
එහි වාර්ෂික ග්‍රන්ථ 200-500ක් අතර ප්‍රමාණයක් නැති වන බවට සොයාගෙන ඇත. එහි වාර්ෂික
පාඩුව ඩොලර් මිලියන 25ක් වන බවත්, කැනඩාවේ එය ඩොලර් මිලියනයක්
බවත් සඳහන් වේ. මේ නිසා සෑම වර්ගයේ පුස්තකාලයක් පාහේ යම් නිශ්චිත කාල පරාසයකට අයත්ව
තොග සත්‍යාපනය කිරීමට පෙළඹී සිටි.
තොග සත්‍යාපනය, තොග සංගණනය, තොග ගණන් කිරීම යනුවෙන්ද හඳුන්වනු ලබයි. මෙම තොග සත්‍යාපනයේ සරල
අදහස වන්නේ පුස්තකාලයේ තිබෙන ද්‍රව්‍ය නැතිනම් එකතුව ගණනය කිරීමයි. කෙසේ වෙතත් තොග
සංගණනය යනු කුමක්ද යන්න පහත විද්වත් නිර්වචන ඔස්සේ සලකා බැලිය හැකිය.
“පුස්තකාල එකතුවේ තිබුණු සහ වර්තමානයේ තිබෙන්නාවූ
දෑ සොයා බලන පරීක්ෂණාත්මක ක්‍රියාවලියයි. එම පවත්නා එකතුවේ අස්ථානගත මූලාශ්‍ර හා දැනට
පවතින මූලාශ්‍ර පිළිබඳව ගණනය කිරීම තොග සත්‍යාපනය වේ.” (Dhiman, 2000)
“පුස්තකාල යනු විෂයානුබද්ධ එකතුවකින්
සමන්විත ආයතනයක් වන අතර එම විෂයානුබද්ධ තොරතුරු මූලාශ්‍ර ගණනය කිරීම සහ පරීක්ෂාවට ලක්
කිරීම තොග සත්‍යාපනය ලෙස හඳුන්වයි.”
(Chaurasia & Chaurasia, 2011)
“තොග සත්‍යාපනය යනු වරින් වර පරීක්ෂා කර ගිණුම් ගත කිරීම.”
(M.S. ශ්‍රීදර්, 2004)
මෙලෙස විද්වත්හු තොග සත්‍යාපනය පිළිබඳ විවිධ අදහස්
ඉදිරිපත් කර ඇති අතර මේ සියල්ලගේම අදහස වන්නේ පුස්තකාලයක අන්තර්ගත වී ඇති පුස්තකාල
ද්‍රව්‍යයන් මොනවාදැයි ගණනය කිරීම තොග සත්‍යාපනය හෙවත් තොග සමීක්ෂණය ලෙස හඳුන්වන බව
බවයි. මෙහිදී පුස්තකාල එකතුවේ පවතින නිවැරදි සංඛ්‍යාව දැන ගැනීමටත්, අස්ථානගත වූ පොත්
පිළිබඳව දැන ගැනීමටත්, සංසරණය වූ පොත් පිළිබඳවත්, දැනට රාක්කයේ තිබෙන පොත් පිළිබඳව
දැන ගැනීමට, පුස්තකාලවල තිබෙන තොරතුරු උපයෝජකයින්ගේ භාවිතා කර තිබේද, අපහරණය වූ පොත්
පිළිබඳව මෙන්ම එකතුවේ විනිවිදභාවයක් දැකිය හැකි අතර තොග වාර්තාවක් සකස් කර ගැනීමට පුස්තකාලයා
සත්‍යාපනයක් පැවැත්වීම අවශ්‍ය වේ. පුස්තකාලාධිපතිවරයෙකු
පුස්තකාලයට පැමිණ වැඩබාරගත් අවස්ථාවේ ද, සේවයෙන් ඉවත්වන අවස්ථාවේද තොග සංගණනය එනම්
පුස්තකාල එකතුව ගණනය කර වාර්තාවක් සකස් කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතුය. කෙසේ වෙතත්
සත්‍යාපනය සිදුකරනු ලබන ක්‍රමවේද කිහිපයක් අපට දැකිය හැකිය. එනම්,
- පරිග්‍රහණ ලේඛනය භාවිතයෙන් තොග සංගණනය කිරීම.
- පරිග්‍රහණ අංකය ඇතුළත් අතිරේක ලේඛනයක් මගින්
තොග සංගණනය කිරීම.
- පරිග්‍රහණ අංකය ඇතුළත් පත්‍රිකා භාවිතා කිරීම.
- සංඛ්‍යාත්මක ලෙස ගණනය කිරීම.
- රාක්ක ලැයිස්තු භාවිතා කිරීම.
- සුචි පත්‍රිකා භාවිතා කිරීම.
- පරිගණක ආශ්‍රයෙන් සංගණනය කිරීම.
- නියැදි සමීක්ෂණ භාවිත කිරීම.
යනාදී ක්‍රම හරහා
තොග සංගණනය සිදු කළ හැකිය. මෙම
ක්‍රම අතරින් පුස්තකාලයක තොග සංගණනය සඳහා පරිගණක ආශ්‍රයෙන් සංගණනය කිරීම වඩාත්ම සාර්ථක
ක්‍රමය ලෙස පෙන්වාදිය හැකිය. මන්ද යත් ලෝකය අද වන විට පරිගණක තාක්ෂණය කෙරෙහි සමීප වෙමින්
පවතී. සෑම කාර්යයක්ම පරිගණක ආශ්‍රයෙන් කටයුතු කරන මෙවැනි කාල සමයක සාම්ප්‍රදායික තොග
සංගණන ක්‍රමයන්ගෙන් බැහැර වී නවීන තාක්ෂණය භාවිතා කරමින් තොග සංගණන කිරීමට පුස්තකාලාධිපතිවරු
හා කාර්ය මණ්ඩලය කටයුතු කළ යුතුය. අතීතයේ නම් පොත්පත්වල ලියමින් කාලය වැය කරමින් ඉතාමත්
අපහසුවෙන් සිදුකළ එකතුව ගණනය කිරීම මෙම ක්‍රමය හරහා ඉතා පහසුවෙන් විඩාවකින් තොරව සිදුකිරීමට
හැකිවීම විශේෂත්වයකි. විශේෂයෙන්ම සෑම පුස්තකාලයක්ම අද වන විට ස්වයංක්‍රීයකරණයට ලක්ව
තිබීම නිසා තොග සංගණනය සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය පරිගණක ක්‍රමය බව පෙන්වාදිය හැකිය.
මෙහි දී සෑම පොතකටම Barcode තීරුවක් අලවා එය
Bar code reader මගින් ඉතා පහසුවෙන් ගණනය කළ හැකි වේ. එහිදී පොතේ
සියලු විස්තර පරිගණකගත වීම දක්නට හැකිය. මෙහිදී කොහා වැනි මෘදුකාංග (Software) භාවිතා කරමින් පරිගණක දත්ත
පදනම් (Database) හරහා තොරතුරු තැන්පත් කිරීම සිදුකරයි. මෙම
මෘදුකාංග (Software) වලට අමතරව හඬියා, අයිසීස්, වෙන්අයිසිස් හෝ ඇලිස් වැනි මෘදුකාංග
(Software) උදාහරණ ලෙස පෙන්වා දිය හැක.
පරිගණක ක්‍රමය භාවිතා කිරීම මගින් බැහැරගෙන ගිය
පොත් පිළිබඳව තොරතුරු පවා පහසුවෙන් දැනගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම මෙමගින් ඉතා සුවිශේෂී වාසි උදා කරගත හැකිය.
එහිදී ප්‍රධානම වාසිය වනුයේ කාලය ඉතුරු වීමයි. උදාහරණයක් ලෙස පරිග්‍රහණ ලේඛනය ඇසුරෙන්
තොග සත්‍යාපනය ගත්විට විශාල කාලයක් වැය වේ. රාක්කවල පොත්පත් තැන්පත් කර ඇත්තේ පරිග්‍රහණ
අංකය අනුව නොව ඇමතුම් අංකය අනුව වීම නිසා මේ සඳහා දිගු කාලයක් ගතවේ. එම නිසා පරිගණක
ක්‍රමයේදී දිගු කාලයක් වැය නොවන අතර තොග සංගණනයේදී මෙම පරිගණක ක්‍රමය කාර්යබහුල ජීවිතයත්
සමඟ ඉතා යෝග්‍ය වේ.
එමෙන්ම
විශාල පුස්තකාලවලට මෙන්ම කුඩා පුස්තකාලවලටද ඉතා යෝග්‍ය මෙන්ම සාර්ථක ක්‍රමයද වන්නේ
පරිගණක ක්‍රමයයි. උදාහරණයක් ලෙස ගත් කළ පරිග්‍රහණ ලේඛනය ඇසුරින් තොග සංගනනය, පරිග්‍රහණ
අංකය ඇතුළත් අතිරේක ලේඛනයක් මගින් තොග සත්‍යාපනය , පරිග්‍රහණ අංකය ඇතුළත් පත්‍රිකා
මගින් ගණන් ගැනීම ආදී ක්‍රම කුඩා පුස්තකාලයකට යෝග්‍ය වුවද විශාල පුස්තකාලයකට නොගැලපෙයි.
මන්ද යත් විශාල පුස්තකාලවල එකතුව විශාල වන අතර ඒ සඳහා දිගු කාලයක්, විශාල ශ්‍රමයක් හා පිරිවැයක් වැයවීමයි.
එපමණක්
නොව පරිගණක ක්‍රමය සාර්ථක ක්‍රමය ලෙස පැවසීමට
තවත් හේතුවක් වී ඇත්තේ ද එහි විශාල කාර්යයක් මණ්ඩලයක් අවශ්‍ය නොවීමයි. එනම් පරිගණක
ක්‍රියාවලියේදී තොග සංගණනය සඳහා එක් පුද්ගලයෙකුට වුවද පහසුවෙන්ම ක්‍රියාවලිය සිදු කළ
හැකිය. නමුත් පරිග්‍රහණ අංකය ඇතුළත් පත්‍රිකා මගින් ගණන් ගැනීමේ ක්‍රමය ගත්විට පුද්ගලයන්
කිහිප දෙනෙකු අවශ්‍ය වේ. එනම් එක් පුද්ගලයෙකු විසින් ග්‍රන්ථවල පරිග්‍රහණ අංක කියවන
අතර පරිග්‍රහණ අංක ඇතුළත් පත්‍රිකා තබාගෙන තිබෙන තැනැත්තා එය පත්‍රිකාවෙහි තිබේනම්
එය සළකුණු කළ යුතුවේ. මෙලෙස පුද්ගලයන් කිහිප දෙනෙකු එම කාර්යයේ නිරත වේ. එහෙත් පරිගණක
ක්‍රියාවලියේදී එසේ නොවේ. ශ්‍රමික හිඟයක් පවතින ලංකාව වැනි රටකට මෙම ක්‍රමය සුදුසු
ක්‍රමයන් ලෙස යොදා ගැනීම ඉතා අගනා බව පෙන්වා දිය හැක.
මීට අමතරව දීර්ඝ කාලයක් වුවද පරිගණකය තුළ තොග සංගණනය
ලේඛනය පවත්වාගෙන යාමට හැකිවීමද විශේෂ වාසියකි. උදාහරණයක් ලෙස පරිග්‍රහණ ලේඛනය ඇසුරින්
තොග සත්‍යාපන ක්‍රමය ගත්විට වර්ෂ දෙක තුනක් යන විට එය ඉතා ඉක්මනින් විනාශයට පත් විය
හැකිය. එමෙන්ම රාක්ක ලැයිස්තු ක්‍රමය ගත් විටද එහිදී සුචි කාඩ් පතක වර්ෂ කිහිපයක් සඳහන්
කර තොග සංගණනය සිදුකරනු ලබයි. එහිදී කාඩ්පතක් නැතිවීම තුළ තවත් කාඩ්පතක් නිර්මාණය කිරීමට
සිදු වේ. මෙම ක්‍රම වල පවතින දුර්වලතා නිසා
පරිගණක ක්‍රමය වඩාත් සුදුසු ක්‍රමය ලෙස පෙන්වා දිය හැක. විශේෂයෙන් ම පරිගණකයේ තොග සංගණන
වාර්තාව Pen drive එකක් හෝ Memory card එකක් භාවිතා කර ගබඩා කර ගැනීමට අවස්ථාව
සලසා දීම වැනි සුවිශේෂී ක්‍රමය නිසා ද මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් බව පෙන්වා දිය හැකිය.
පුස්තකාල ද්‍රව්‍යය ගණනය කිරීමේදී පරිගණක
ක්‍රමය ඉහතින් පෙන්වා දුන්න ද මෙම ක්‍රමයේ
ද වාසි මෙන්ම අවාසි පවති. එනම්,
- අදාළ උපකරණ තිබිය යුතුය.(පරිගණකයක්, automate
software, Bar
code reader උපකරණ තිබීම.)
- විශේෂ පුහුණුවක් හා සාක්ෂරතාවයකින් තිබීම.
ආදී අවාසි
සහගත තත්ත්වයන් දැකිය හැකි වුවත් බටහිර ලෝකයේ ඇතුළු ශ්‍රී ලංකාව වැනි තෙවෙනි ලෝකයේ
රටවලද මෙම පරිගණක ක්‍රමය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතීී. මෙයට හොඳම උදාහරණය ඉන්දියාවේ
දිල්ල් විශ්ව විද්‍යාලය වන අතර ලෝකය පුස්තකාල ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යයක් වන තොග
සංගණනයේදී වඩා සුදුසු ක්‍රමවේදය ලෙස පරිගණක ක්‍රමය යෝජනා කළ හැකිය.
කෙසේ වෙතත් මෙම තොග සත්‍යාපනය තුළ දැකිය හැකි වාසි
කිහිපයකිිි.
- අස්ථානගත වූ පොත් පිළිබඳව තොරතුරු සොයාගත
හැකි වීම.
- අස්ථානගත වී තිබෙන අත්‍යවශ්‍ය පොතපත නැවත
ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිවීම. (පාඨකයින් සොයාගෙන ගොස් නැති වී ඇති විමර්ශන ග්‍රන්ථ ආදිය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට
හැකිවීම.)
- පුස්තකාලයේ සංවිධානාත්මක ව්‍යුහය පිළිබඳ
නිවැරදි තීරණයක් ගත හැකිවීම.
- පුස්තකාල කාර්ය මණ්ඩලයේ අවංක භාවය හා දක්ෂතාවය
පිළිබඳ තක්සේරුවක් කළ හැකි වීම.
- වසර කිහිපයක් තුළ පොත් නැතිවීමේ සාමාන්‍ය
තත්ත්වය දැන ගත හැකිවීම.
- පුස්තකාලයේ ඉතා වැඩි ඉල්ලුමක් ඇත්තේ කුමන
විෂයන්ටද අදාළ ග්‍රන්ථයන්ට දැනගැනීමට හැකිවීම.
- විවිධ හේතුන් නිසා අබලන්වී ඇති පොත්පත්
අපහරණය කළ යුතු පොත්පත් තෝරා ගත හැකි වීම.
- පුස්තකාල සුචියේ නම්‍යතාවය ආරක්ෂා කර ගැනීමට
හැකිවීම.
යනාදී වාසි අත්පත් කරගත හැකිය.
තොග සත්‍යාපනය මගින් විවිධ අවාසිද අත්විඳීමට සිදු වේ. ප්‍රධාන අවාසිය වන්නේ
තොග සත්‍යාපනය කරන කාලය තුළ පුස්තකාලයේ බොහෝ විට වසා තැබීමට සිදුවේ. ඇතැම් විට සති
ගණනාවක් සේවාවන් නවතාලීමට මේ නිසා සිදුවේ. මෙම නිසා විවිධ අපහසුතාවලට පාඨකයින්ට මුහුණ
දීමට සිදුවන අතර පුස්තකාල සේවාවේ මූලික පරමාර්ථ වනුයේ එය ඉතාම වැඩි කාල සීමාවක් විවෘත
කර තැබීම මිස වසා තැබීම නොවේ. මීට අමතරව
- පුස්තකාලය සතු සීමිත සම්පත් නිකරුණේ වැයවීම.
- පුස්තකාල සත්‍යාපනය සඳහා වැය වන වියදම අධික වීම.
- තොග සත්‍යාපනය තුළින් ඇතිවන ප්‍රශ්නයන්ට පුස්තකාලයේ
කාර්ය මණ්ඩලයට වගකීමට සිදුවීම.
වැනි අවාසි තත්වයන් දක්නට ලැබෙන නිසා M.S. ශ්‍රීදර් පවසා ඇත්තේ තොග සත්‍යාපනය යනු නොවැදගත් අංගයක් වන බවයි. කෙසේ
වෙතත් වර්තමානයේ පවතින අභියෝග හමුවේ තොග සත්‍යාපනය ඉතා වැදගත් අංගයක් ලෙස පෙන්වාදිය
යුතු අතර ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට මෙම ක්‍රමය පැවතීම ඉතා වැදගත් වේ.
Reference
- Dhiman, A. K. (2000). Stock verification : Some
problems of electronic publications.
- Halder, S. (2016,
March 16). Methods of stock verification [Slide show]. SlideShare. https://www.slideshare.net/slideshow/methods-of-stock-verification/59633834
- Vasyblog. (2024, July 29). A
Complete Guide on Stock Verification in Retail Stores » The Retail Guru. VasyERP Solutions Pvt. Ltd. https://www.vasyerp.com/the-retail-guru/stock-verification-in-retail-stores
- Weerasingha,
M. K. (2002). Pothapatha watha gotha. Kelaniya: Author