Monday, 3 February 2025

පර්යේෂණයක් සිදුකිරීම මගින් පර්යේෂකයකුට ලැබෙන ප්‍රතිලාභ

පර්යේෂකයෙකුට පර්යේෂණයක් සිදු කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ රාශියකි.  ඒ අනුව පර්යේෂකයෙකුට පර්යේෂණයක් සිදුකිරීම තුළින් ලැබෙන ප්‍රයෝජන නැතිනම් ප්‍රතිලාභ ප්‍රධාන කොටස් දෙකක් යටතේ පෙන්වාදිය හැකිය.

  1. පුද්ගලිකව ලැබෙන ප්‍රයෝජන 
  2. ජාතික වශයෙන් ලැබෙන ප්‍රයෝජන

පුද්ගලික වශයෙන් ලැබෙන ප්‍රයෝජන ගත්විට ඒවා පර්යේෂකයන් සිදු කරන පර්යේෂණයන් අනුව තම තමන්ට ලැබෙන ප්‍රයෝජන වෙයි.

  • පර්යේෂණ සාහිත්‍ය විවේචනාත්මකව කියවීම.

 පර්යේෂණයක් සිදුකිරීම තුළින් පර්යේෂකයාට ලැබෙන ප්‍රයෝජනයක් වනුයේ සාහිත්‍ය රසයක් ලබා ගැනීමට හැකි වීමයි. ඉන් අදහස් කරනුයේ පර්යේෂකයාගේ පර්යේෂණ මාතෘකාවට අදාළ පර්යේෂණ ඉතිහාසය හැඳිනගෙන ඉහල ප්‍රමිතියක් සහිත පර්යේෂණ පත්‍රිකා තෝරා ගැනීම සහ එහි ප්‍රධාන ගැටළු විමර්ශනය කිරීමෙන් පර්යේෂණ හිඩස අවබෝධ කර ගැනීමට හැකි වීමයි. ඒ අනුව පර්යේෂණ ප්‍රශ්න සහ ශක්‍යතා උපන්‍යාස හඳුනා ගැනීම, ඒවායේ අර්ථ නිරුපනය කිරීමටද  හැකිවීම තුළින් පර්යේෂකයාට සාහිත්‍ය විවේචනාත්මකව කියැවීමට අවස්ථාව උදාවේ. එමෙන්ම පර්යේෂණ සහිතය  අධ්‍යනය මඟින් මෙතෙක් කරන ලද පර්යේෂණ තුළින් කිරීමට අවශ්‍ය පර්යේෂණ සුවිශේෂි කොට දැක්වීම, පර්යේෂණ මාතෘකාවට අදාළ වැදගත් විචල්‍ය සොයා ගැනීමට හැකිවීම, පර්යේෂණයට අදාළ නව පර්‍යයලෝක අත්කරදීම, සංකල්ප සහ භාවිතය අතර සහසම්බන්ධතාවය හඳුනාගැනීම ආදිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම හුදෙක් ස්වකීය පර්යේෂණ පිළිබඳ පුළුල් අවබෝධයකට වඩා වැඩි දැනුම් ප්‍රමාණයක් පර්යේෂකයාට අත්කර දීමක් සිදුවේ. අනෙක් අතට ප්‍රවීණ ඉංග්‍රීසි ශබ්දකෝෂවේදියෙකු වූ සැමුවෙල් ජොන්සන් පවසා ඇත්තේ ද

 "ලේඛනයේ වෙනුවෙන් ලේඛකයකුගේ වැඩිම කාලය වැය වන්නේ කියවීම සඳහා බවයි" 

යනුවෙනි. එනම් මින් ද පැහැදිලි  වන්නේ පර්යේෂණයක් සිදු කිරීම මගින් පර්යේෂකයාට සාහිත්‍ය විවේචනාත්මකව කියවීමට හැකියාව ලැබෙන බවයි.  

  • උපකල්පිත සැකසීමට හැකිවීම.

පර්යේෂණයක් සිදු කිරීම තුළින් පර්යේෂකයෙකුට ලැබෙන ප්‍රතිලාභයක් වනුයේ උපකල්පිත සැකසීමට හැකිවීමයි . එනම් උපකල්පිත හෝ පරිකල්පනය කරන ලද අවස්ථාව හෝ හැකියාවන් පිළිබඳ සලකා බැලීමට හැකිවීමයි. විවිධ දෑ ගවේෂණය කිරීමට, තීරණය ගැනීමට හෝ ක්‍රියාමාර්ග ගැනීමට ගැටළු විසඳීමට මෙන්ම නිර්මාණාත්මක චින්තනය දියුණුවීම උපකල්පිත සැකසීම මගින් පර්යේෂකයාට ලැබෙන  ප්‍රතිලාභ වේ.

  •  පර්යේෂණ සැලසුම් කිරීමට හැකිවීම.

පර්යේෂණ සැලසුම් කිරීමට හැකි වීමද පර්යේෂකයකුට ලැබෙන පුද්ගලික ප්‍රයෝජනයකි. පර්යේෂකයෙකුට තම පර්යේෂණ ප්‍රශ්න වලට පිළිතුරු දීමට හෝ කල්පිතයන් ඵලදායී ලෙස පරීක්ෂා කිරීමට සැලසුම් කිරීම තුළ පර්යේෂණ අධ්‍යයන ව්‍යුහය, ක්‍රමවේදය, දත්ත රැස් කිරීම, විශ්ලේෂණය පිළිබඳ දැනුම පර්යේෂණ සැලසුම් කිරීම තුළ පර්යේෂකයාට ලැබෙන ප්‍රයෝජනවලින් එකක් ලෙස පෙන්වාදිය හැකිය.

  •  දත්ත විශ්ලේෂණය කිරීමට හැකිවීම. 

පර්යේෂකයෙකුට පුද්ගලිකව ලැබෙන තවත් ප්‍රතිලාභයක් වනුයේ දත්ත විශ්ලේෂණය කිරීම පිළිබඳව දැනුමක් ලබාගත හැකිවීමයි. එහිදී පර්යේෂණයට ප්‍රයෝජනවත් තොරතුරු උකහා ගැනීම, රටා හඳුනා ගැනීම සහ දැනුවත් තීරණ ගැනීම සඳහා අමුදත් පරීක්ෂා කිරීම ආදිය මෙන්ම නිගමනවලට එළඹීම, ගණිතමය හෝ පරිගණක ශිල්පිය ක්‍රම ආදිය පිළිබඳව දැනුමක් ලබා ගැනීමට හැකිවීම පර්යේෂකයකුට ලැබෙන තවත් පුද්ගලික ප්‍රතිලාභයකි.  මීට අමතරව,

  • දත්ත අර්ථ නිරූපණය කිරීම.
  •  ස්වයං ඉගෙනුම් අවස්ථාවන් හිමිවීම.
  •  විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි වීම
  •  පර්යේෂණ මාතෘකාවට සම්බන්ධ වැදගත් කරුණු සොයා ගැනීමට හැකි වීම.
  •  පර්යේෂණ මාතෘකාවට අදාළව පවතින වැරදි සොයා ගැනීමට හැකිවීම.
  • විෂය  වටා ඇති ව්‍යාජ හිමිකම් හඳුනා ගැනීමට හැකිවීම.
  •  ලිපි ලිවීම පොත්පත් සහ වෙනත් ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීම.
  •  නව නිෂ්පාදන, මෙවලම්, ශිල්පක්‍රම, න්‍යායන්, ආකෘති පිළිබඳව දැනුම ලබාගත හැකි වීම.
  •  පර්යේෂණය කරනු ලබන විෂයට අදාළ පුද්ගලයන් පිළිබඳව අදහස් හා දැනුම පුළුල් වීම. 

ආදී ප්‍රතිලාභ පර්යේෂණයක් සිදුකිරීම තුළින් පර්යේෂකයාට ලැබෙන පුද්ගලික ප්‍රතිලාභ වේ.


Friday, 11 October 2024

පර්යේෂණයක් යනු කුමක්ද?

 

 පර්යේෂණයක් යනු බුද්ධිමත් ක්‍රියාවලියක් වන අතර එය නව දැනුම ලබා ගැනීම සඳහා මෙන්ම ගැටළුවකට විසඳුම් ළඟා කර ගැනීම සඳහා  විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් කටයුතු කිරීම පර්යේෂණයක් ලෙස හැඳින්විය හැකිය. පර්යේෂණයක් යනු නැවත පරික්ෂා කිරීමක් ලෙසද දැක්විය හැක. පර්යේෂණය Research නමින් හඳුන්වන අතර එහිදී Re යන්නෙන් නැවත ලෙසද Search යන්නෙන් සොයා බැලීම යන ලෙසද දැක්විය හැක.  ඒ අනුව පර්යේෂණයක් යනු යම්කිසි සිද්ධියක් පිළිබඳව සියුම්ව ගැඹුරින් සොයා බැලීම ලෙස හැඳින්විය හැක. අප යම් දෙයක් ගැන නිසි පරිදි නොදන්නා අවස්ථාවලදී අපගේ දැනුමෙහි ඉඩසක් හටගන්නා අතර එහිදී කුතුහලය ඇවිස්සීමක් සිදුවේ. එවිට මෙම කුතුහලය දැනුම වර්ධනය සඳහා හේතුවන අතර මෙලෙස දැනුම ලබා ගැනීම සඳහා දන්නා දේ සහ නොදන්නා දේ අතර ඉඩස පුරවා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවත් විධික්‍රමය පර්යේෂණයක් ලෙස සරලව දැක්විය හැක. පරීක්ෂණයක් සිදු කිරීම මගින් දැනුම ලබා ගත හැකි අතර එය පුද්ගලයකුගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා හේතු වේ. කෙසේ වෙතත් පර්යේෂණයක් යනු කුමක් ද යන්න විද්වත් නිර්වචන ඇසුරින් පහත පරිදි පෙන්වා දිය හැක.

පර්යේෂණයක් යනු කුමක්ද යන්න ක්ලීෆෝඩ් වුඩ් දක්වා ඇත්තේ මෙසේය.

පර්යේෂණයක ගැටළුවක් අර්ථ දැක්වීම, කල්පිත ගොඩනැගීම හෝ යෝජිත විසඳුමක් තිබීම, දත්ත එකතු කිරීම, සංවිධානය සහ  ඇගයීම, නිගමනවලට එළඹීම සහ ලබාගත් නිගමන කල්පිත සමග එකඟද යන්න පරීක්ෂාවට ලක් කිරීම වේ.”

                                                        -ක්ලීෆෝඩ් වුඩ්-

ක්ලීෆෝඩ් වුඩ්ට අනුව පර්යේෂණයකදී ගැටලුව අර්ථ දැක්වීම සිදුකරන අතර එහිදී ඒ සඳහා විසඳුම් සෙවීම, දත්ත රැස්කිරීම, සංවිධානය කිරීම. ඇගැයීම සිදුකරන අතර එහිදී නිගමනවලට එළඹෙන අතර නිගමනවලට එකඟ විය හැකිද නොහැකිද යන්න පරීක්ෂාවට ලක් කිරීම පර්යේෂණයක් ලෙස අර්ථ දක්වා ඇත.

 මෙන්ම මීට අමතරව ඩී. සිලෙසිංගර් සහ එම්. ස්ටෙෆන්ගේ සමාජ විද්‍යා ශබ්දකෝෂයෙහි පර්යේෂණය පිළිබඳව දක්වා ඇත්තේ මෙසේය.

The manipulation of things, Concept or Symbols for the purpose of generalizing to extend, Correct or symbols for the purpose of generalizing to extend, correct or verify knowledge aids in Construction of theory or in the practice of an art.

                   -ඩී. සිලෙසිංගර් සහ එම්. ස්ටෙෆන්-

ඉහත නිර්වචනය අනුව පර්යේෂණයක් යනුවෙන් අර්ථ දක්වා ඇත්තේ න්‍යායක් ගොඩනැගීම හා සාමාන්‍යකරණය සඳහා භාවිතා කරන විධිමත් ක්‍රමවේදයක් ලෙසය. එනම් න්‍යාය ගොඩනැගීමට උපකාරී වන කලාවක් භාවිතා කිරීමට දැනුම උපකාරී වේද දැනුම ව්‍යාප්ත කිරීම, නිවැරදි කිරීම, දත්ත රැස්කිරීම, විශ්ලේෂණය කිරීම, නිගමනවලට එළැඹීම මගින් පර්යේෂණයට භාජනය වූ ගැටලුව සඳහා විසඳුම් ලබා ගැනීමේ ක්‍රියාවලිය වේ. මේ ආකාරයට ඩී. සිලෙසිංගර් සහ එම්. ස්ටෙෆන්ගේ පර්යේෂණයක් අර්ථ දක්වා ඇත.

 

 මීට අමතරව සිධූ (Sidhu, ) විස්තරාත්මක නිර්වචනයක් පර්යේෂණය යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් නිර්වචනය කොට ඇත.

“විද්‍යාත්මක ක්‍රමය උපයෝගී කරගෙන නව අදහසක් සොයා ගැනීම සඳහා යෙදෙන බලවත් උත්සාහය පරීක්ෂාකාරීව සොයා බැලීම හෝ පරික්ෂා කිරීම, විවේචනාත්මකව සොයා බැලීම පර්යේෂණය ලෙස හැඳින්වේ.”

                                                                        -Sidhu,1991-

 

 සිධූගේ අදහසට අනුව දැනුම පිළිබඳ අවධාසානයක් නැති සොයා බැලීමක් පර්යේෂණයක් වේ. සෑම පර්යේෂණයක් ම පවත්නා දැනුම් මට්ටමින් ආරම්භ කර නව දැනුම ලබා ගැනීම සඳහා ක්‍රමානුකූල මාවතකට යොමු කිරීමක් බව පෙන්වාදිය හැක. මීට අමතරව,

“විචල්‍යයන් පාලනය කරමින් මූලධර්ම හා න්‍යායන් සංවර්ධනය කිරීමත්, ලබාගන්නා ප්‍රතිඵල මගින් අනාවැකි ඉදිරිපත් කිරීමත් අරමුණු කරගෙන,  නිරීක්ෂණය කර වාර්තා කිරීමත්, ක්‍රමවත් හා විෂයානුබද්ධ විශ්ලේෂණ ක්‍රියාවලියක් පර්යේෂණයක් නම් වේ.”

                                                       -බෙස්ට් හා කාන්-

 

“නිශ්චිත මාතෘකාවක්, ගැටළුවක් වෙනුවෙන්අදාළ තොරතුරු පිළිබද විද්‍යාත්මක හා ක්‍රමානුකූලව පරීක්ෂා කිරීම පර්යේෂණ ලෙස හැඳින්වේ.”

                                                     -Kothari, 2000-


"පර්යේෂණ දත්ත එකතු කිරීම, විශ්ලේෂණය කිරීම, අර්ථකථනය කිරීම සහ ලිවීමේ ක්‍රමානුකූල ක්‍රියාවලියකි."

   -සමාජ පර්යේෂණ ක්‍රම පිළිබඳ Sage ශබ්දකෝෂය-

 

"නිශ්චිත ගැටළුවක් හෝ ගැටලුවක් හඳුනා ගැනීම සහ එය විසඳීම හෝ අවබෝධ කර ගැනීම සඳහා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම මගින් සංලක්ෂිත වන ක්‍රමානුකූල විමර්ශනයකි."

                -Thomas R. Lindbf සහ Bryon C. Taylor-


"ස්වාභාවික සංසිද්ධිය අතර උපකල්පිත සම්බන්ධතා පිළිබඳ උපකල්පිත යෝජනා පිළිබඳ ක්‍රමානුකූල පාලිත, ආනුභවික සහ විවේචනාත්මක විමර්ශනයකිි."

                                                    -කාලිංගර්,1973-

 

 "ප්‍රශ්නවලට පිළිතුරුදීමට හෝ ගැටලුවක් විසඳීමට අන්තර් සම්බන්ධිත ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටී මාලාවකි."

                       -ඩෙනිසන් හා ලින්කන්,1994-

 

 "දැනුම වැඩි කර ගැනීම සඳහා කෙරෙන ක්‍රමවත් සෙවීමක් පර්යේෂණයක් යනුවෙන් හැඳින්විය හැක."

                                                                                                                                       -ජයසූරිය-

 මේ ආකාරයට පර්යේෂණයක් යනුවෙන් කුමක් ද යන්න සම්බන්ධව පෙන්වාදිය හැක.

 

 

Tuesday, 1 October 2024

සාර්ථක පුස්තකාල තොග සත්‍යාපනයක් සඳහා නිර්දේශ කරනු ලබන පරිගණක ක්‍රමය


 නිදහස් අදහස් වෙත පිවිසීමට ඇති හොඳම ස්ථානය වන්නේ පුස්තකාලයයි. එමෙන්ම අධ්‍යාපනයේ හදවත වන්නේ ද පුස්තකාලයයි. මෙලෙස හඳුන්වනු ලබන පුස්තකාලය මගින් මිනිසාගේ පස්වන අවශ්‍යතාවය වන තොරතුරු අවශ්‍යතාවය සපුරනු ලබන අතර පිරිපුන් මිනිසසුන් බිහි කිරිම පුස්තකාල සේවාවේ අවසන් අරමුණ වන බව පෙන්වා දිය හැකිය. මුල් කාලීන පුස්තකාලයක අරමුණ වූයේ එහි ද්‍රව්‍ය සංරක්ෂණය කිරීම, පොත්පත් අල්මාරිවල දමා යකඩ දම්වැල් වලින් බැඳ ආරක්ෂා කරන ලද අතර වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇත. එනම් අදවන විට “පොත් ඇත්තේ භාවිතය” සඳහා යන්න අරමුණු කොටගෙන පුස්තකාලය සේවා මධ්‍යස්ථානයක් බවට පත්වී හමාරය.

මෙලෙස පුස්තකාල පාඨකයාට විවෘත කිරීමත් සමඟ පාඨක සහභාගිත්වය වැඩි වී ඒ තුළින් විවිධ ගැටලු පැන නගී. එනම් පුස්තකාල සම්පත්  නිසි ලෙස ඇතැම් පාඨකයින්ගේ ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පැන නගින ප්‍රධානම ගැටළුවයි. එමෙන්ම පුස්තකාල ද්‍රව්‍යයන්ට හානි පැමිණවීම, සොරකම් කිරීම වැනි ගැටළුද බහුල වෙමින් පවතින බව හඳුනාගත හැකිය. මෙලෙස එල්ල වන බලපෑම් ලෝකයේ සෑම රටක්ම පාහේ දැකිය හැකි අතර උදාහරණයක් ලෙස ඇමරිකානු පුස්තකාලයක සිදු කරන ලද සමීක්ෂණයකින් එහි වාර්ෂික ග්‍රන්ථ 200-500ක් අතර ප්‍රමාණයක් නැති වන බවට සොයාගෙන ඇත. එහි වාර්ෂික පාඩුව ඩොලර් මිලියන 25ක් වන බවත්, කැනඩාවේ එය ඩොලර් මිලියනයක් බවත් සඳහන් වේ. මේ නිසා සෑම වර්ගයේ පුස්තකාලයක් පාහේ යම් නිශ්චිත කාල පරාසයකට අයත්ව තොග සත්‍යාපනය කිරීමට පෙළඹී සිටි.

තොග සත්‍යාපනය, තොග සංගණනය, තොග ගණන් කිරීම යනුවෙන්ද හඳුන්වනු ලබයි. මෙම තොග සත්‍යාපනයේ සරල අදහස වන්නේ පුස්තකාලයේ තිබෙන ද්‍රව්‍ය නැතිනම් එකතුව ගණනය කිරීමයි. කෙසේ වෙතත් තොග සංගණනය යනු කුමක්ද යන්න පහත විද්වත් නිර්වචන ඔස්සේ සලකා බැලිය හැකිය.

 

“පුස්තකාල එකතුවේ තිබුණු සහ වර්තමානයේ තිබෙන්නාවූ දෑ සොයා බලන පරීක්ෂණාත්මක ක්‍රියාවලියයි. එම පවත්නා එකතුවේ අස්ථානගත මූලාශ්‍ර හා දැනට පවතින මූලාශ්‍ර පිළිබඳව ගණනය කිරීම තොග සත්‍යාපනය වේ.”                                                                                       (Dhiman, 2000)

 “පුස්තකාල යනු විෂයානුබද්ධ එකතුවකින් සමන්විත ආයතනයක් වන අතර එම විෂයානුබද්ධ තොරතුරු මූලාශ්‍ර ගණනය කිරීම සහ පරීක්ෂාවට ලක් කිරීම තොග සත්‍යාපනය ලෙස හඳුන්වයි.”

  (Chaurasia & Chaurasia, 2011)

“තොග සත්‍යාපනය යනු වරින් වර පරීක්ෂා කර ගිණුම් ගත කිරීම.”

(M.S. ශ්‍රීදර්, 2004)

මෙලෙස විද්වත්හු තොග සත්‍යාපනය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කර ඇති අතර මේ සියල්ලගේම අදහස වන්නේ පුස්තකාලයක අන්තර්ගත වී ඇති පුස්තකාල ද්‍රව්‍යයන් මොනවාදැයි ගණනය කිරීම තොග සත්‍යාපනය හෙවත් තොග සමීක්ෂණය ලෙස හඳුන්වන බව බවයි. මෙහිදී පුස්තකාල එකතුවේ පවතින නිවැරදි සංඛ්‍යාව දැන ගැනීමටත්, අස්ථානගත වූ පොත් පිළිබඳව දැන ගැනීමටත්, සංසරණය වූ පොත් පිළිබඳවත්, දැනට රාක්කයේ තිබෙන පොත් පිළිබඳව දැන ගැනීමට, පුස්තකාලවල තිබෙන තොරතුරු උපයෝජකයින්ගේ භාවිතා කර තිබේද, අපහරණය වූ පොත් පිළිබඳව මෙන්ම එකතුවේ විනිවිදභාවයක් දැකිය හැකි අතර තොග වාර්තාවක් සකස් කර ගැනීමට පුස්තකාලයා සත්‍යාපනයක්  පැවැත්වීම අවශ්‍ය වේ. පුස්තකාලාධිපතිවරයෙකු පුස්තකාලයට පැමිණ වැඩබාරගත් අවස්ථාවේ ද, සේවයෙන් ඉවත්වන අවස්ථාවේද තොග සංගණනය එනම් පුස්තකාල එකතුව ගණනය කර වාර්තාවක් සකස් කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතුය. කෙසේ වෙතත් සත්‍යාපනය සිදුකරනු ලබන ක්‍රමවේද කිහිපයක් අපට දැකිය හැකිය. එනම්,

  • පරිග්‍රහණ ලේඛනය භාවිතයෙන් තොග සංගණනය කිරීම.
  • පරිග්‍රහණ අංකය ඇතුළත් අතිරේක ලේඛනයක් මගින් තොග සංගණනය කිරීම.
  •  පරිග්‍රහණ අංකය ඇතුළත් පත්‍රිකා භාවිතා කිරීම.
  •  සංඛ්‍යාත්මක ලෙස ගණනය කිරීම.
  •  රාක්ක ලැයිස්තු භාවිතා කිරීම.
  •  සුචි පත්‍රිකා භාවිතා කිරීම.
  •  පරිගණක ආශ්‍රයෙන් සංගණනය කිරීම.
  •  නියැදි සමීක්ෂණ භාවිත කිරීම.

                                    යනාදී ක්‍රම හරහා තොග සංගණනය සිදු කළ හැකිය. මෙම ක්‍රම අතරින් පුස්තකාලයක තොග සංගණනය සඳහා පරිගණක ආශ්‍රයෙන් සංගණනය කිරීම වඩාත්ම සාර්ථක ක්‍රමය ලෙස පෙන්වාදිය හැකිය. මන්ද යත් ලෝකය අද වන විට පරිගණක තාක්ෂණය කෙරෙහි සමීප වෙමින් පවතී. සෑම කාර්යයක්ම පරිගණක ආශ්‍රයෙන් කටයුතු කරන මෙවැනි කාල සමයක සාම්ප්‍රදායික තොග සංගණන ක්‍රමයන්ගෙන් බැහැර වී නවීන තාක්ෂණය භාවිතා කරමින් තොග සංගණන කිරීමට පුස්තකාලාධිපතිවරු හා කාර්ය මණ්ඩලය කටයුතු කළ යුතුය. අතීතයේ නම් පොත්පත්වල ලියමින් කාලය වැය කරමින් ඉතාමත් අපහසුවෙන් සිදුකළ එකතුව ගණනය කිරීම මෙම ක්‍රමය හරහා ඉතා පහසුවෙන් විඩාවකින් තොරව සිදුකිරීමට හැකිවීම විශේෂත්වයකි. විශේෂයෙන්ම සෑම පුස්තකාලයක්ම අද වන විට ස්වයංක්‍රීයකරණයට ලක්ව තිබීම නිසා තොග සංගණනය සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය පරිගණක ක්‍රමය බව පෙන්වාදිය හැකිය.

මෙහි දී සෑම පොතකටම Barcode තීරුවක් අලවා එය Bar code reader  මගින් ඉතා පහසුවෙන් ගණනය කළ හැකි වේ. එහිදී පොතේ සියලු විස්තර පරිගණකගත වීම දක්නට හැකිය. මෙහිදී කොහා වැනි මෘදුකාංග (Software) භාවිතා කරමින් පරිගණක  දත්ත පදනම් (Database) හරහා තොරතුරු තැන්පත් කිරීම සිදුකරයි. මෙම  මෘදුකාංග (Software) වලට අමතරව හඬියා, අයිසීස්, වෙන්අයිසිස් හෝ ඇලිස් වැනි  මෘදුකාංග (Software) උදාහරණ ලෙස පෙන්වා දිය හැක.

පරිගණක ක්‍රමය භාවිතා කිරීම මගින් බැහැරගෙන ගිය පොත් පිළිබඳව තොරතුරු පවා පහසුවෙන් දැනගැනීමට හැකියාව ලැබේ.  එමෙන්ම මෙමගින් ඉතා සුවිශේෂී වාසි උදා කරගත හැකිය. එහිදී ප්‍රධානම වාසිය වනුයේ කාලය ඉතුරු වීමයි. උදාහරණයක් ලෙස පරිග්‍රහණ ලේඛනය ඇසුරෙන් තොග සත්‍යාපනය ගත්විට විශාල කාලයක් වැය වේ. රාක්කවල පොත්පත් තැන්පත් කර ඇත්තේ පරිග්‍රහණ අංකය අනුව නොව ඇමතුම් අංකය අනුව වීම නිසා මේ සඳහා දිගු කාලයක් ගතවේ. එම නිසා පරිගණක ක්‍රමයේදී දිගු කාලයක් වැය නොවන අතර තොග සංගණනයේදී මෙම පරිගණක ක්‍රමය කාර්යබහුල ජීවිතයත් සමඟ ඉතා යෝග්‍ය වේ.

 එමෙන්ම විශාල පුස්තකාලවලට මෙන්ම කුඩා පුස්තකාලවලටද ඉතා යෝග්‍ය මෙන්ම සාර්ථක ක්‍රමයද වන්නේ පරිගණක ක්‍රමයයි. උදාහරණයක් ලෙස ගත් කළ පරිග්‍රහණ ලේඛනය ඇසුරින් තොග සංගනනය, පරිග්‍රහණ අංකය ඇතුළත් අතිරේක ලේඛනයක් මගින් තොග සත්‍යාපනය , පරිග්‍රහණ අංකය ඇතුළත් පත්‍රිකා මගින් ගණන් ගැනීම ආදී ක්‍රම කුඩා පුස්තකාලයකට යෝග්‍ය වුවද විශාල පුස්තකාලයකට නොගැලපෙයි. මන්ද යත් විශාල පුස්තකාලවල එකතුව විශාල වන අතර ඒ සඳහා දිගු කාලයක්,  විශාල ශ්‍රමයක් හා  පිරිවැයක් වැයවීමයි.

 එපමණක් නොව පරිගණක ක්‍රමය  සාර්ථක ක්‍රමය ලෙස පැවසීමට තවත් හේතුවක් වී ඇත්තේ ද එහි විශාල කාර්යයක් මණ්ඩලයක් අවශ්‍ය නොවීමයි. එනම් පරිගණක ක්‍රියාවලියේදී තොග සංගණනය සඳහා එක් පුද්ගලයෙකුට වුවද පහසුවෙන්ම ක්‍රියාවලිය සිදු කළ හැකිය. නමුත් පරිග්‍රහණ අංකය ඇතුළත් පත්‍රිකා මගින් ගණන් ගැනීමේ ක්‍රමය ගත්විට පුද්ගලයන් කිහිප දෙනෙකු අවශ්‍ය වේ. එනම් එක් පුද්ගලයෙකු විසින් ග්‍රන්ථවල පරිග්‍රහණ අංක කියවන අතර පරිග්‍රහණ අංක ඇතුළත් පත්‍රිකා තබාගෙන තිබෙන තැනැත්තා එය පත්‍රිකාවෙහි තිබේනම් එය සළකුණු කළ යුතුවේ. මෙලෙස පුද්ගලයන් කිහිප දෙනෙකු එම කාර්යයේ නිරත වේ. එහෙත් පරිගණක ක්‍රියාවලියේදී එසේ නොවේ. ශ්‍රමික හිඟයක් පවතින ලංකාව වැනි රටකට මෙම ක්‍රමය සුදුසු ක්‍රමයන් ලෙස යොදා ගැනීම ඉතා අගනා බව පෙන්වා දිය හැක.

මීට අමතරව දීර්ඝ කාලයක් වුවද පරිගණකය තුළ තොග සංගණනය ලේඛනය පවත්වාගෙන යාමට හැකිවීමද විශේෂ වාසියකි. උදාහරණයක් ලෙස පරිග්‍රහණ ලේඛනය ඇසුරින් තොග සත්‍යාපන ක්‍රමය ගත්විට වර්ෂ දෙක තුනක් යන විට එය ඉතා ඉක්මනින් විනාශයට පත් විය හැකිය. එමෙන්ම රාක්ක ලැයිස්තු ක්‍රමය ගත් විටද එහිදී සුචි කාඩ් පතක වර්ෂ කිහිපයක් සඳහන් කර තොග සංගණනය සිදුකරනු ලබයි. එහිදී කාඩ්පතක් නැතිවීම තුළ තවත් කාඩ්පතක් නිර්මාණය කිරීමට සිදු වේ. මෙම ක්‍රම වල  පවතින දුර්වලතා නිසා පරිගණක ක්‍රමය වඩාත් සුදුසු ක්‍රමය ලෙස පෙන්වා දිය හැක. විශේෂයෙන් ම පරිගණකයේ තොග සංගණන වාර්තාව Pen drive එකක් හෝ Memory card එකක් භාවිතා කර ගබඩා කර ගැනීමට අවස්ථාව සලසා දීම වැනි සුවිශේෂී ක්‍රමය නිසා ද මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් බව පෙන්වා දිය හැකිය.

පුස්තකාල ද්‍රව්‍යය ගණනය කිරීමේදී පරිගණක ක්‍රමය ඉහතින් පෙන්වා දුන්න ද  මෙම ක්‍රමයේ ද  වාසි මෙන්ම අවාසි පවති. එනම්,

  •  අදාළ උපකරණ තිබිය යුතුය.(පරිගණකයක්, automate software, Bar code reader  උපකරණ තිබීම.)
  •  විශේෂ පුහුණුවක් හා සාක්ෂරතාවයකින් තිබීම.

 ආදී අවාසි සහගත තත්ත්වයන් දැකිය හැකි වුවත් බටහිර ලෝකයේ ඇතුළු ශ්‍රී ලංකාව වැනි තෙවෙනි ලෝකයේ රටවලද මෙම පරිගණක ක්‍රමය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතීී. මෙයට හොඳම උදාහරණය ඉන්දියාවේ දිල්ල් විශ්ව විද්‍යාලය වන අතර ලෝකය පුස්තකාල ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යයක් වන තොග සංගණනයේදී වඩා සුදුසු ක්‍රමවේදය ලෙස පරිගණක ක්‍රමය යෝජනා කළ හැකිය.

 කෙසේ වෙතත් මෙම තොග සත්‍යාපනය තුළ දැකිය හැකි වාසි කිහිපයකිිි.

  • අස්ථානගත වූ පොත් පිළිබඳව තොරතුරු සොයාගත හැකි වීම.
  • අස්ථානගත වී තිබෙන අත්‍යවශ්‍ය පොතපත නැවත ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිවීම. (පාඨකයින් සොයාගෙන ගොස් නැති වී ඇති  විමර්ශන ග්‍රන්ථ ආදිය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිවීම.)
  • පුස්තකාලයේ සංවිධානාත්මක ව්‍යුහය පිළිබඳ නිවැරදි තීරණයක් ගත හැකිවීම.
  • පුස්තකාල කාර්ය මණ්ඩලයේ අවංක භාවය හා දක්ෂතාවය පිළිබඳ තක්සේරුවක් කළ හැකි වීම.
  • වසර කිහිපයක් තුළ පොත් නැතිවීමේ සාමාන්‍ය තත්ත්වය දැන ගත හැකිවීම.
  • පුස්තකාලයේ ඉතා වැඩි ඉල්ලුමක් ඇත්තේ කුමන විෂයන්ටද අදාළ ග්‍රන්ථයන්ට දැනගැනීමට හැකිවීම.
  • විවිධ හේතුන් නිසා අබලන්වී ඇති පොත්පත් අපහරණය කළ යුතු පොත්පත් තෝරා ගත හැකි වීම.
  • පුස්තකාල සුචියේ නම්‍යතාවය ආරක්ෂා කර ගැනීමට හැකිවීම.

 යනාදී වාසි අත්පත් කරගත හැකිය.

       තොග සත්‍යාපනය මගින් විවිධ අවාසිද අත්විඳීමට සිදු වේ. ප්‍රධාන අවාසිය වන්නේ තොග සත්‍යාපනය කරන කාලය තුළ පුස්තකාලයේ බොහෝ විට වසා තැබීමට සිදුවේ. ඇතැම් විට සති ගණනාවක් සේවාවන් නවතාලීමට මේ නිසා සිදුවේ. මෙම නිසා විවිධ අපහසුතාවලට පාඨකයින්ට මුහුණ දීමට සිදුවන අතර පුස්තකාල සේවාවේ මූලික පරමාර්ථ වනුයේ එය ඉතාම වැඩි කාල සීමාවක් විවෘත කර තැබීම මිස වසා තැබීම නොවේ. මීට අමතරව

  • පුස්තකාලය සතු සීමිත සම්පත් නිකරුණේ වැයවීම.
  •  පුස්තකාල සත්‍යාපනය සඳහා වැය වන වියදම අධික වීම.
  •  තොග සත්‍යාපනය තුළින් ඇතිවන ප්‍රශ්නයන්ට පුස්තකාලයේ කාර්ය මණ්ඩලයට වගකීමට සිදුවීම.

 වැනි අවාසි තත්වයන් දක්නට ලැබෙන නිසා M.S. ශ්‍රීදර් පවසා ඇත්තේ තොග සත්‍යාපනය යනු නොවැදගත් අංගයක් වන බවයි. කෙසේ වෙතත් වර්තමානයේ පවතින අභියෝග හමුවේ තොග සත්‍යාපනය ඉතා වැදගත් අංගයක් ලෙස පෙන්වාදිය යුතු අතර ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට මෙම ක්‍රමය පැවතීම ඉතා වැදගත්  වේ.

 Reference

  1. Dhiman, A. K. (2000). Stock verification : Some problems of electronic publications.
  2. Halder, S. (2016, March 16). Methods of stock verification [Slide show]. SlideShare. https://www.slideshare.net/slideshow/methods-of-stock-verification/59633834
  3. Vasyblog. (2024, July 29). A Complete Guide on Stock Verification in Retail Stores » The Retail Guru. VasyERP Solutions Pvt. Ltd. https://www.vasyerp.com/the-retail-guru/stock-verification-in-retail-stores
  4. Weerasingha, M. K. (2002). Pothapatha watha gotha. Kelaniya: Author

Sunday, 29 September 2024

ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායි ආකාරයෙන් සපයන ආකාරය.

01. ඩිජිටල් ස්වදේශිකයන් යනු 

 නූතන සියවස් තුළ ලොව සුපිරි බලවතා වී ඇත්තේ තාක්ෂණයයි. මෙම නව තාක්ෂණය තුලදී පවතින සංකල්පයන් යල්පැන යාමත් නව චින්තනයන් කරා ලොව වේගයෙන් ප්‍රවිෂ්ට වීමත් දැකිය හැකිය. ඒ අනුව බලන කළ විසි එක්වන සියවසේ පුස්තකාල පාරිභෝගිකයින් ගත්විට පුස්තකාල පාරිභෝගිකයින් ප්‍රධාන කොටස් තුනක් යටතේ දැකිය හැකිය.

  •   Digital Fugitive
  •   Digital Immigrants
  •   Digital Natives
 
                                   යනාදිය වේ. නමුත් ලොව පුරා තාක්ෂණය සීඝ්‍රයෙන් බිහිවීමත් සමග එම තාක්ෂණික පරිසරය අනුව හැඩ ගැසෙන පරිශීලක වර්ග දෙකක් හඳුනාග හැකිය.

         • Digital Immigrants - ඩිජිටල් සංක්‍රමණිකයින්
         • Digital Natives - ඩිජිටල් ස්වදේශිකයින් 

                       යන පරිශීලකයින් වර්ග වේ. මෙම පරිශීලකයින් අතරින් ද වඩාත් ම බැඳී සිටින්නේ Digital Natives නැතිනම් ස්වදේශිකයන් වේ. ඩිජිටල් ස්වදේශිකයින් යනු ඩිජිටල් තාක්ෂණය සමඟ පුළුල් ලෙස භාවිතා කිරීමෙන් පසු උපත ලැබූ පුද්ගලයන්ය. අන්තර්ජාලය පරිගණක සහ ජංගම උපාංග වැනි තාක්ෂණය භාවිතයෙන් හැදීවැඩුණු ළමයින් මීට අයත් වේ. විශේෂයෙන්ම සංක්‍රමණිකයින්ට වඩා තාක්ෂණය පිළිබඳ පුහුණුවක් සහ අවබෝධයක් ඩිජිටල් ස්වදේශිකයන්ට පවතී. කෙසේ වෙතත් ඩිජිටල් ස්වදේශිකයන් යනු කුමක් ද යන්න පහත නිර්වචන ඔස්සේ විමසා බලමු.

  “ඩිජිටල් තාක්ෂණය ඉදිරියේ හෝ තොරතුරු යුගයේ හැදී වැඩුණු පුද්ගලයින් අදහස් කරන යෙදුමකි.” 
                                                                                                                -Marc Prensky-

  “ඩිජිටල් ලෝකයේ උපත ලද සහ ඒ අනුව පරිගණක වීඩියෝ ක්‍රීඩා සහ අන්තර්ජාලය යන ඩිජිටල් භාෂාවන් ස්වදේශ පුද්ගලයන් වේ.” 
                                                                                                                   -Larianne Colins- 

  "ඩිජිටල් ස්වදේශිකයන් යනු පුද්ගලික පරිගණකය ලෙස හඳුන්වා දීමෙන් පසු හැදීවැඩුණු සහ ඩිජිටල් තාක්ෂණයේ ්‍රී රක්ෂණය පුද්ගලයෙකි." 
                                                                                                                         -Zheng Yan- 

 ඒ අනුව ඩිජිටල් ස්වදේශිකයන් තාක්ෂණය සමඟ හැදී වැඩුණු සහ තාක්ෂණයට අනුවර්ථනය වීමට හැකි කුඩා කල සිටම අන්තර්ගතය, පර්ගනකය පිළිබඳව හුරුපුරුදු ඇති අය වේ. එනිසා අන්තර්ජාලය හා පරිගණක, වීඩියෝ, වීඩියෝ ක්‍රීඩා, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය වෙනත් වෙබ් අඩවි තාක්ෂණය සමඟ බැඳී පවතින්නන් මීට අදාල වේ. මෙම ඩිජිටල් ස්වදේශිකයන්ගේ ලක්ෂණ ගත් විට මොවුන් සැමවිටම බුද්ධිමය වශයෙන් ඉගෙන ගන්නන් වන අතර බහුකාර්ය මෙන්ම එකවර බොහෝ කාර්යන් ඉටු කළ හැකි බහුකාර්ය පුද්ගලයින් වේ. ඔවුන් එම කාර්යයන් වේගවත්ව ඉටුකරනු ලබයි. එමෙන්ම අතිශය සමාජශීලී වන මොවුන් සැමවිටම ක්‍රියාත්මකය. 

 02. තොරතුරු සේවා යනු, 

 තොරතුරු සේවාව යන්නෙන් අදහස් වන්නේ තොරතුරු සොයාගෙන, අත්පත් කරගෙන ගබඩා කිරීම් සහ සැකසීම ආදිය සිදුකර භාවිතා කිරීම සඳහා පාඨකයාට ලබාදීමයි. ඒ අනුව පුස්තකාල හා තොරතුරු මධ්‍යස්ථානය පාඨක අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් පරාසයක සේවාවන් සැපයිය යුතුය. ඒ අනුව සංවර්ධනය හා බෙදාහැරීම හැරීමේ දී තොරතුරු සේවා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. පුස්තකාලයක ප්‍රධාන කාර්යභාරය වනුයේ ද පාඨකයාට අවශ්‍ය පරිදි ඔවුන්ගේ තොරතුරු සේවාවන් සපුරාලීමයි. කෙසේ වෙතත් වර්තමානය වන විට පුස්තකාලයක් මඟින් ඩිජිටල් සේවා සැපයීම සිදු කළ යුතුය. තොරතුරු රැකියාවේදී, අධ්‍යාපනයේ දී, එදිනෙදා ජීවිතයේ දී ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් තොරතුරු සේවාවන් පිළිබද ඉදිරිපත් වී ඇති නිර්වචන පහත දැක්වේ. 

  “පුස්තකාලය සහ එහි තොරතුරු ද්‍රව්‍ය සමඟ පාඨකයාගේ තෘප්තිය වැඩි දියුණු කිරීම සඳහා පවතින සහ ඔවුන්ට සහාය ලබා දීමේ ක්‍රමවේදයයි.” 
                                                                                                                            -Mitchell Grant- 

 ඩිජිටල් ස්වදේශිකයන්ට සහය සපයන තොරතුරු සේවා ඊමේල්, සමාජ මාධ්‍ය, කෙටි පණිවුඩ සහ තවත් බොහෝ මාධ්‍ය හරහා ලබාදිය හැකිය. ඒ අනුව තාක්ෂණයේ දියුණුවත් සමග නිරන්තරයෙන් වර්ධනය වන තොරතුරු සේවා සපුරාලීම සඳහා පුස්තකාලාධිපතිවරයා කටයුතු කළ යුතුය. 

  03. පුස්තකාලාධිපතිවරයෙකු ලෙස ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායි ආකාරයෙන් සපයන අයුරු 

 ඩිජිටල් ස්වදේශිකයන් යනු තාක්ෂණය සමඟ උපත ලබා තාක්ෂණය සමඟ හැදී වැඩුණු පුද්ගලයන් බව ඉහතින් පෙන්වා දුනි. පුස්තකාලයාධිපතිවරයාගේ ප්‍රධාන කාර්යභාර්ය වන්නේ පාඨක තොරතුරු සේවා ඵලදායීව ඉටු කිරීමයි. ඒ අනුව තාක්ෂණික පරිසරයේ පාඨක වර්ගයක් වන ඩිජිටල් ස්වදේශිකයන්‌ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීමට පුස්තකාලයාධිපතිවරයා කටයුතු කරන්නේ කෙසේද යන්න පහත අයුරින් විමසා බැලිය හැක. 

  •  ඩිජිටල් උපාංග සමඟ මිත්‍රශීලී විය යුතුය. 
 පුස්තකාලාධිපතිවරයෙකු ලෙස ඩිජිටල් ස්වදේශකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායි ආකාරයෙන් ඉටු කිරීමට පුස්තකාලයාධිපතිවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ද, එහි සේවාවන්ද ඩිජිටල් උපාංග සමඟ මිත්‍රශීලී විය යුතුය. මන්දයත් ඩිජිටල් ස්වදේශිකයන් යනු ඩිජිටල් උපාංග සමඟ සියලු කටයුතු සිදු කරනු ලබන්නන් වීමයි. ඒ අනුව පුස්තකාල සේවාවන් දියත් කිරීමේ දී පරිගණක, දුරකථන ඩිජිටල් උපකරණ හරහා තොරතුරු සේවාව සැපයීම සිදුකළ යුතුය. 

 උදාහරණයක් ලෙස මාර්ගගත පොදු ප්‍රවේශ සුචිය පෙන්වාදිය හැකිය. ස්වදේශිකයන්ට ජංගම දුරකථන හෝ පරිගණකය හරහා තමාට අවශ්‍යය මූලාශ්‍ර පිලිබඳව විස්තර ලබා ගැනීමට හැකියාව ලැබේ. එසේම තමන්ට පොතක් අවශ්‍ය නම් ඒ පොත පුස්තකාලයේ තිබේ ද එය නොමැති නම් නැවත පුස්තකාලයට ලැබෙන්නේ කවදාද, කතුවරයාගේ වෙනත් පොත් තිබේ ද ආදී විස්තර ඩිජිටල් උපකරණ භාවිතයෙන් දැන ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. උදාහරණයක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ දැනට පවතින මාර්ගගත පොදු ප්‍රවේශ සුචිය පෙන්වාදිය හැක.( https://opac.library.kln.ac.lk/ ) 

 එමෙන්ම ඒ හරහා ස්වදේශිකයන්ට අවශ්‍ය පර්යේෂණාත්මක තොරතුරු වුවද ලබා ගත හැකිය. එනම් E-book ,E-database, E journals ආදී තොරතුරු සේවා වෙත ප්‍රවේශ වීමට ද අවස්ථාව ලබාදී ඇත. එනම් මෙලෙස අවශ්‍යය තොරතුරු ලබා දීමට නම් පුස්තකාලයාධිපති සහ එහි සේවකයන් ඩිජිටල් උපාංග සමඟ මිත්‍රශීලී විය යුතුය.ඒ තුළ නිරතුරුවම ඩිජිටල් උපකරණ සමග කටයුතු කරන ඩිජිටල් ස්වදේශිකයන්ට ඒ හරහා තොරතුරු සේවා සැපයිය හැකිය. එමෙන්ම පුස්තකාලයට පැමිනෙණ පාඨකයන්ට ද ඩිජිටල් උපකරණ වන පරිගණක ,ටැබ් ආදිය භාවිතා කිරීමට, ඒ හරහා තොරතුරු ලබාගැනීමට, විනෝදාස්වාදය ලබාගැනීමට පුස්තකාලය තුළ අවකාශය ලබා දිය යුතුය. බොහෝ ඩිජිටල් ස්වදේශිකයන් පුස්තකාලයට නොපැමිනණෙන නිසා ඔවුන්ට කැමති ස්ථානයක සිට තොරතුරු සේවා පොත්පත් ආදිය ගැන තොරතුරු ලබා දීමට පුස්තකාලය කටයුතු කළ යුතුය. එනම් පුස්තකාලයාධිපති ඩිජිටල් උපකරණ සමඟ මිත්‍රශීලීව නව තාක්ෂණයට අනුව වැඩ කිරීම තුළ පුස්තකාලයාධිපතිට ස්වදේශිකයන්ගේ තොරතුරු අවශ්‍යතා ඵලදායිව සපුරාලීමට හැකියාව ලැබේ.

  සමාජ මාධ්‍ය භාවිතා කිරීම

 පුස්තකාලාධිපතිවරයකු ලෙස ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායි ආකාරයෙන් සැපයීම සඳහා සමාජ මාධ්‍යය භාවිතා කිරීම සිදුකළ යුතුය. එනම් Facebook, whatsApp, LinkedIn, YouTube, telegram, ස්නැප්චැට් වැනි සමාජ මාධ්‍යය වල නිරතුරුවම ඩිජිටල් ස්වදේශිකයන් සංසරණය කරනු ලබයි. එම නිසා පුස්තකාලයාධිපතිට ඩිජිටල් ස්වදේශකයින් වෙත තොරතුරු සේවා සැපයීමේ දී සමාජ මාධ්‍ය භාවිතා කළ හැකිය. 
 මේ තුළ පාඨකයාගේ අදහස් දැක්වීමට හැකි වීම, එය බෙදා හදා ගැනීමට හැකියාවද ලැබේ. එනම් පුස්තකාලයාධිපති සේවා සැපයීමේදී සමාජ මාධ්‍ය භාවිතා කළ යුතුය. තවද පුස්තකාලය විසින් තොරතුරු සැපයීමේ දී පුස්තකාලය විවෘත කර තබන වේලාවන් ආදිය පිළිබඳව දැනුවත් කිරීම ආදීය ද සමාජ ජාල භාවිතා කිරීම හරහා සිදුකල හැකිය. සමාජ මාධ්‍ය තුළ සක්‍රියව භාවිතා කරන නිසා පුස්තකාලයාධිපතිවරයාට තොරතුරු ලබාමේදී එය ඵලදායී වීමට නම් සමාජ මාධ්‍ය භාවිතා කළ යුතුය. උදාහරණයක් ලෙස ගත් විට කැළණිය විශ්වවිද්‍යාලය මගින් තොරතුරු ගවේෂණය හා තොරතුරු මූලාශ්‍ර උද්ධරණය පිළිබඳ දේශන මාලාවක් ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳව දැනුවත් කිරීම university of Kelaniya library යන ෆේස්බුක් පිටුව දැක්වීම පෙන්වාදිය හැකිය. (https://m.facebook.com/story.php?story_fbid=1751992311748923&substory_index=3314697942145011&id=1660571370891018&mibextid=Nif5oz )

  බහුමාධ්‍ය වෙත ප්‍රවේශය සැපයිම. 

 පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා සැපයීමේදී බහු මාධ්‍ය වෙත ප්‍රවේශය සැපයිම කළ යුතුය. එනම් සමාජ මාධ්‍ය හරහා මෙන්ම ඊට අමතරව වෙබ් අඩවි , බ්ලොග්, පෝඩ්ස් කාට්ස් ආදිය හරහා ද තොරතුරු සේවා සැපයීම කළ යුතුය. ඩිජිටල් ස්වදේශිකයන් ඉතාමත් බහුකාර්ය පුද්ගලයන් වේ. කාර්යශීලී මෙන්ම බුද්ධිය මත පදනම් වන නිසා ඔවුන් නිරතුරුවම තොරතුරු සොයන්නේ තාක්ෂණය පදනම් කොටගෙනය. සාම්ප්‍රදායික පුස්තකාල තොරතුරු සේවා සපයන ආකාරයෙන් ඔබ්බට ගොස් තොරතුරු සැලයීම තාක්ෂණය පදනම් කරගෙන සිදු කළ යුතුය. මෙහිදී වෙබ් අඩවි ඉතා වැදගත් වේ. වෙබ් අඩවි පිළිබදව පාඨකින් සමාජ මාධ්‍ය හාරහා දැනුවත් කළ යුතු අතර සෑම අයකුටම ප්‍රවේශය සැපයිය යුතුය. සෑම තොරතුරක්ම වෙබ් අඩවිය තුළ පළ කිරීම මගින් ඩිජිටල් ස්වදේශිකයන්ගේ තොරතුරු සේවා ඵලදායිව ඉටුකිරීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලය පුස්තකාල වෙබ් අඩවිය පෙන්වා දිය හැකි. (https://library.kln.ac.lk/ ) 

  සජීවී කතාබස් කිරීම සහ පාඨකයන්ට සවන්දීම.

 ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායීව ඉටු කිරීමට නම් පුස්තකාලයාධිපති සජීවී කතාබස් කිරීම සහ පාඨකයන්ට සවන් දීම සිදුකළ යුතුය. එනම් මින් අදහස් කරන්නේ පුස්තකාලයාධිපති සේවා සැපයීම ඩිජිටල් උපාංග භාවිතයෙන් තොරතුරු අවශ්‍ය පාඨකයා වෙත ඉතා ඉක්මනින් සම්බන්ධවීමත්, පාඨකයන්ගේ ප්‍රශ්නවලට සමන් දීමත් සිදු කළ යුතුය යන්නයි. එහිදී ඩිජිටල් ස්වදේශිකයන්ට ප්‍රශ්න ඇසීම සඳහා පුස්තකාල වෙබ් අඩවියේ ස්ථානයක් වෙන් කිරීමට හැකිය.
 එහිදී තොරතුරු අවශ්‍ය ඩිජිටල් ස්වදේශකයාට ප්‍රශ්න යොමු කිරීම තුළ පුස්තකාලයාධිපතිවරයාට ක්ෂණිකව ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම් කළ හැකිය. එනම් එය පුස්තකාලායාධිපතිවරයෙකු ලෙස ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායිව ඉටුකිරීමේ හැකියාව ලැබේ. එමෙන්ම චැට්බොට් වැනි පරිශීලක හිතකාමී අතුරුමුහුණත් මෙන්ම Inner live chat, We chat, Google chat, Bermuda video chat වැනි ඇප් භාවිතා කිරීමද සිදුකළ හැකිය . 

  දේශන, වැඩ වැඩසටහන් මාර්ගගතව පැවැත්වීම. 

 පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායිව සැපයීමේ දී දේශන, වැඩසටහන් මාර්ගගතව පැවැත්වීම සිදු කළ හැකිය. එනම් ඩිජිටල් ස්වදේශිකයන් සාම්ප්‍රදායික දේශන සඳහා කැමැත්තක් නොදක්වයි. ඔවුන් කැමැත්තක් දක්වන්නේ මාර්ගගත දේශන සඳහා ය. මන්දයත් එය පහසු ආකාරයෙන් සිටිමින් ඔවුන්ටම දේශන වෙත සිටීමට හැකි වීමත් ඔවුන් සියලුම දේම උපකරණ භාවිතයෙන් සිදු කිරීමයි. එම නිසා පුස්තකාලයාධිපති විසින් සිය පුස්තකාලය මගින් තොරතුරු හා සේවා සැපයීමේදී දේශනා, වැඩසටහන් පවත්වනු ලැබේ. මේවා සාම්ප්‍රදායිකව සිදුනොකොට මාර්ගගතව සිදු කිරීම තුළ ඩිජිටල් ස්වදේශිකයන්ගේ තොරතුරු සේවාව ඉටු කිරීමට හැකි වේ. උදාහරණයක් ලෙස Zoom, Google Meet වැනි තාක්ෂණය යොදා ගනිමින් දේශන පැවැත්වීම සිදු කළ හැකිය. 

  තොරතුරු සේවා ලබාගත හැකි විවිධ ක්‍රම හඳුන්වා දීම. 

 පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායිව සැපයීමේ දී තොරතුරු සේවා ලබාගත හැකි විවිධ ක්‍රම හඳුන්වා දීම සිදුකළ හැකිය. මෙහිදී පුස්තකාලයාධිපතිවරයාට සිය පුස්තකාලය මගින් සපයන ලැබෙන සේවාවන්, පුස්තකාලය පිළිබඳ තොරතුරු ලබාගත හැකි මෙන්ම පුස්තකාලයට මාර්ගගතව පිවිසීමට හැකි පරිදි නිර්මාණය කරන ලද ඇප් එකක් හඳුන්වා දීම සිදු කළ හැකිය. මන්දයත් ඩිජිටල් ස්වදේශිකයින් සාම්ප්‍රදායික ආකාරයට පුස්තකාලයට පැමිණ තොරතුරු සේවා ලබා ගැනීමට කැමැත්තක් නොදක්වනු ලබන අතර ඔවුන් වඩා කැමැත්තක් දක්වනු ලබන්නේ ඩිජිටල් උපාංග හරහා තොරතුරු සේවා ලබා ගැනීමටයි. එම නිසා එලෙස තොරතුරු ලබාගත හැකි ආකාරයට මොබයිල් ඇප් එකක් නිර්මාණය කිරීම පුස්තකාලාධිපතිවරයෙකු ලෙස ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායිව ඉටු කිරීමට හැකිවන බව නොඅනුමානය.

 • මාර්ගගත පුවත්පත් සේවාවක් පවත්වාගෙන යාම.

 පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායිව සැපයීමේ දී මාර්ගගත පුවත්පත් සේවාවක් පවත්වාගෙන යාම සිදුකළ හැකිය. එහිදී වට්ස්අප් යොදා ගනිමින් ඒ හරහා දිනපතා පළවෙන පුවත්පත් වල තොරතුරු ලබාදීමට පුස්තකාලාධිපතිවරයාට හැකියාව ලැබේ. මන්දයත් පුස්තකාලයට පැමිණ පුවත්පත් කියවීමට එතරම් කැමැත්තක් නොදක්වන අතර ඔවුන්ට අවශ්‍ය තොරතුරු සේවා සැපයීම් සඳහා මාර්ගගත පුවත්පත් සේවාවක් ආරම්භ කිරීම පුස්තකාලයාධිපතිවරයාට හැකිය. මෙම මාර්ගගත පුවත්පත් සේවාවට අමතරව මාර්ගගත පුවත්පත් කැපුම් සේවාවන් ද ආරම්භ කළ හැකිය.

 • Webbliogrphy නිර්මාණය කිරීම. 
 Webbliogrphy යනු ලෝක ව්‍යාප්ත ජාලයේ අදාල හා ප්‍රයෝජනවත් මූලාශ්‍ර සොයාගැනීමට පර්යේෂකයන්ට උපකාර කිරීම සඳහා විශේෂිත විෂයයන් පිළිබඳව අන්තර්ජාල අඩවි එකතුවක් වේ. මෙම Webbliogrphy එක් විෂයක් හා සම්බන්ධ තොරතුරු එකට එකතු කොට නිර්මාණයය කර ඇති වෙබ් පිටුවක් ලෙසද සරලව හැඳින්විය හැක. ඩිජිටල් ස්වදේශකයින් යනු ඉතා කාර්යබහුල පිරිසකි. ඔවුන්ට ඉතා පහසුවෙන් අවශ්‍ය තොරතුරු සොයා ගැනීම සඳහා මෙම Webbliogrphy හරහා හැකියාව ලැබෙයි. එමනිසා පුස්තකාලයාධිපතිට එක් එක් විෂයයන් යටතේ hyperlink යොදාගනිමින් නිර්මාණය කිරීම තුළ ඩිජිටල් ස්වදේශිකයන්ගේ තොරතුරු සේවා පඵලදායිව සපුරාලීමට හැකියාව ලැබෙයි. 

 • Web Portal නිර්මාණය කිරීම.
 පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායිව සැපයීමේ දී Web Portal නිර්මාණය කිරීම සිදුකළ හැකිය. මෙය Webbliogrphy එකක් ආකාරයෙන් පැවතිය ද ඊට වඩා වෙනස් ආකාරයෙන් යුක්ත වේ. විෂයක ඕනෑම පරාසයක විහිදිිමක්මෙහි දක්නට ලැබීම විශේෂත්වයකි .ඕනෑම device එකක් හරහා පිවිසිය හැකි අතර පාඨකයන්ට කාර්යක්ෂමව තොරතුරු ලබා ගැනීම සඳහාත්, තොරතුරු පවතින සම්පත් වෙත යොමු කිරීමටත්, ගනුදෙනුකරුවන් හා සේවකයන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි කිරීම සිදුකරනු ලබයි. එනම් ඒ තුළින්ද ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා සපුරාලීමට පුස්තකාලයාධිපතිට හැකියාව ලැබේ.

 • පෝඩ්කාස්ට් නිර්මාණය කිරීම. 
පුස්තකාලයාධිපතිවරයෙකු වශයෙන් ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා සපුරාලීමේ දී පෝඩ්කාස්ට් නිර්මාණය කිරීම සිදු කළ හැකිය. එනම් පෝඩ්කාස්ට් යනු අන්තර්ජාලය හරහා ශ්‍රව්‍ය ලිපිගොනු බෙදාහැරීමේ ක්‍රමයකි. පෝඩ්කාස්ට් බොහෝවිට MP3 ආකෘතියෙන් අන්තර්ජාලයෙන් භාගත කළ හැකි ශ්‍රව්‍ය ගොණුවක් වශයෙන් පෙන්වා දිය හැකිය. විවිධ මාතෘකා යටතේ සාකච්ඡා වන කරුණු ඩිජිටල් ස්වදේශකයන් වෙත ලබාදීමට මෙමගින් හැකියාව ලැබේ. එනම් මේ තුළින් ඩිජිටල් ස්වදේශිකයන් වෙත අවශ්‍ය තොරතුරු බාගත කරගැනීමට මෙන්ම ඩිජිටල් ආකෘතියෙන් ලබා ගැනීමට ද හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස පරිශීලකයෙකුට තමන් තෝරා ගන්නා වෙලාවක සවන්දීම සඳහා පුද්ගලික උපාංගයකට භාගත කළ හැකි එපිසොඩ් මාලාවක් ලෙස ද මෙය නිර්මාණය කිරීමේ හැකියාව ඇත. මේ තුළින් ඩිජිටල් ස්වදේශිකයන්ට අවශ්‍ය තොරතුරු විඩියෝ, ඕඩියෝ හෝ ඩවුන්ලොඩ් කිරීම වැනි ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව ඇත. එනම් පුස්තකාලයාධිපතිට නූතන තාක්ෂණය සමඟ උපත ලැබූ ඩිජිටල් ස්වදේශකයින්ගේ තොරතුරු අවශ්‍යතාවය සපුරාලීමට හැකි තවත් එක් ආකාරයක් ලෙස පෝඩ්කාස්ට් නිර්මාණය කිරීම පෙන්වා දිය හැකිය. මීට අමතරව ඩිජිටල් ස්වදේශිකයන්ගේ පාරිභෝගික තොරතුරු සේවා ඵලදායීව භාවිතා කිරීම සඳහා YouTube channel , TV channel , සමාජ ජාලා එකමුතු නිර්මාණය කර ගැනීම, , ආබාධිත ඩිජිටල් ස්වදේශකයින් සඳහා වීඩියෝ හා ඕඩීයෝ බෙදාහැරීමට හැකි whatsApp group නිර්මාණය කිරීම ආදීය පුස්තකාලයාධිපතිවරයකු වශයෙන් සිදු කළ හැකිය. 

  04. විමර්ශන මූලාශ්‍ර 

01. Dingli, A., & Seychell, D. (2015). Retrieved from https://link.springer.com/chapter/10.1007/978-3-662-46590-5_2 

02. Gillis, A. S. (2023). Retrieved from https://www.techtarget.com/whatis/definition/digital-native 

03. Janschitz, G., & Penker, M. (2022, jan 24). Retrieved from https://journals.sagepub.com/doi/full/10.1177/07591063211061760 

04. Narendran, J. (2016, oct 10). Retrieved from https://www.linkedin.com/pulse/how-digital-natives-changing-rules-customer-service-narendran

Sunday, 4 February 2024

Andrew Carnegie - ඇන්ඩෲ කානිගී

 

Andrew Carnegie - ඇන්ඩෲ කානිගී


Andrew Carnegie 

My heart is in the work සිය ජීවිතයේ ආදර්ශ පාඨය කර ගත් ඇන්ඩෲ කානිගී 1835 නොවැම්බැර් 25වන දින ස්කොට්ලන්තයේ ඩන්ෆර්ම්ලයින්හි උපත ලබන ලදී. විධිමත් අධ්‍යාපනයක් නොතිබුණ ද පොත්පත් හා ඉගෙනීම වැදගත් බව විශ්වාස කළ පවූලක හැදී වැඩුණු  මොහු ඇමෙරිකාවේ ධනවත්ම ව්‍යාපාරිකයකු බවට පත් විය.

උපතින්ම ස්කොට්ලන්ත ජාතිකයකු වු මොහු පසුව ඇමරිකාවට සංක්‍රමණය වී ඇති අතර ජගත් පුස්තකාල ඉතිහාසය දෙස බලන විට අමතක කළ නොහැකි චරිතයක් බවට පත්වී ඇත. ඇමෙරිකානු පුස්තකාල ව්‍යාපාරයේ ජවය වැඩි කිරීමට මොහුගේ ක්‍රියා කලාපය හේතු වූ අතර 1981 දී පමණ ඔහු පුස්තකාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා විශාල ලෙස ධනය වැය කරන ලදී. ඉතා ධනවත් ව්‍යාපාරිකයකු මොහු ලද ලාභය මුළුමනින්ම පාහේ පුස්තකාල ගොඩනැගීම සඳහා පරිත්‍යාග කර ඇත.

 ජිවිත කාලය පුරාම පාඨකයෙකු වූ කානිගී නිව්යෝර්ක් මහජන පුස්තකාලයට ඩොලර් මිලියන පහක පමණ මුදල් පරිත්‍යාග කළ අතර එමගින් 1901 පුස්තකාලයට ශාඛා කිහිපයක් විවෘත කළ බවත් පුස්තකාල 2800ට වැඩි ප්‍රමාණයක් විවෘත කළ බවත් සඳහන් වේ. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එංගලන්තය යන රටවල පුස්තකාල ගොඩනැගිලි සෑදීම සඳහා විශාල මුදලක් වැය කරන ලද මොහු විසිවන ශතවර්ශයේ පහළ වූ මහා දාර්ශනිකයෙක් ලෙස හැඳින්විය හැක.

 ඉගෙනීමට කැපවූ මොහු, පීට්ස්බර්ග්හි Carnegie Technology නමින් ආයතනයක්ද, 1904 දී Carnegie –Mellon නමින් විශ්ව විද්‍යාලයක්ද, 1905 දී ඉගැන්වීමේ දියුණුව සඳහා Carnegie පදනම නිර්මාණය කරන ලදි. තවද 1910 දී ජාත්‍යන්තර සාමය සඳහා Carnegie  Endowment පිහිටුවා ගත් මොහු පොත් සහ ලිපිද එළි දක්වන ලදි. 1889 දී “ධනය” නමින් ලිපියක් ගෙනහැර දැක්වූ අතර පසුව මෙය 1900 දී “The Gospel of wealth” ලෙස ප්‍රකාශයට පත් විය. මෙපමණ සේවයක් කළ කානිගී 1919 අගෝස්තු 11න දින මැසචුසෙට්ස් හි ලෙනොක්ස්හි දී මිය යන ලදී.



Thursday, 14 September 2023

මෙල්විල් ලූවී කොසුත් ඩිවි

 


1851 දෙසැම්බර් 10 වෙනි දින ඇමෙරිකාවේ නිව්යෝක් වල උපත ලද මෙල්විල් ලූවී කොසුත් ඩිවි අනාගතයේ දහස් ගණනින් බිහිවන පුස්තකාල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි’ යන්න එදා කිසිවෙක් නොසිතන්නට විය. නමුත් පුස්තකාල ක්ෂේත්‍රය සඳහා ඔහු විසින් කරන ලද සේවාවන් හේතුවෙන් ඔහු අද වන විට බටහිර පුස්තකාල විද්‍යාවේ පියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. විශේෂයෙන්ම මොහුගේ නම මෙල්විල් ලූවී කොසුත් ඩිවි වන අතර ඔහු සරල අක්ෂර වින්‍යාසය කෙරෙහි දැඩි උනන්දුවක් දැක් වූ කෙනෙක් වූ නිසා ඔහු සිය නමෙ මැද අතහැර මෙල්විල් ඩිවි ලෙස කෙටි කර ගන්නා ලදී. අද වන විට ඔහු පුස්තකාල ක්ෂේත්‍රය තුළ මෙල්විල් ඩිවි ලෙස ජනප්‍රියත්වයට පත් වී ඇත. ඔහුට අවුරුදු 21 දී ඇම්හර්ස්ට් විද්‍යාලයේ පුස්තකාලයේ ශිෂ්‍ය සහයකයකු ලෙස සේවය කරන විට ඩිවි දශම වර්ගීකරණ ක්‍රමය (Dewey Decimal classification - DDC) සොයා ගන්නා ලදී. ශ්‍රීමත් ෆැන්සිස් බේකන්ගේ දැනුම් වර්ගීකරණයෙන් මෙන්ම විලියම් ටොරී හැරිස් සහ නතාලේ බැටෙසාති විසින් නිර්මාණය කරන ලද පුස්තකාල වර්ගීකරණ පද්ධති වලින් දැනුම ලබා ගන්නා ලදී. එසේ ලබාගත් දැනුම උපයෝගී කර ගනිමින් ඩිවි දශම වර්ගීකරණයේ ප්‍රථම සංස්කරණය 1876 දී බිහි විය. මෙහි ප්‍රථම සංස්කරණය ග්‍රන්ථයක් ලෙස බිහි කරන අතර එහි පිටු සංඛ්‍යාව හතළිස් හතරක් විය. එයින් පිටු දාහතරක් හැඳින්වීමට ද, තවත් පිටු 12ක් ග්‍රන්ථයේ පෙලට ද, පිටු දහඅටක් අනුක්‍රමණිකාවක ට ද වෙන් විය. මුල්ම සංස්කරණය “Classification an  subjects for cataloguing and arranging books and  pamphlets of a library” යන නමින් නම් කරන ලදී. මෙලෙස මොහු විසින් හඳුන්වා දුන් මෙම වර්ගීකරණ ක්‍රමය වර්තමානයේ ලොව වැඩියෙන්ම භාවිතා කරන වර්ගීකරණ ක්‍රමය බවට පත්වී ඇති අතර එහි දක්වා ඇති සංස්කරණ ප්‍රමාණය 23කි.

එමෙන්ම 1876 දී ඇමරිකානු පුස්තකාල සංගමය (ALA) පිහිටුවීම සඳහා කටයුතු කළ ඔහු පුස්තකාල සඟරාවක් ද ආරම්භ කරන ලදී. මෙම සඟරාව ආරම්භයේ දී ම කියා සිටියේ “Official organ of the library associations of American and united kingdom” යනුවෙනි. 1876 දී සිදු වූ තවත් සිදුවීමක් වනුයේ පුස්තකාල කාර්යාංශයක් බිහිවීමයි. මෙහි සැබෑ ආරම්භකයා ද මෙල්විල් ඩිවීය. 1876 දී පිහිටු වූ මෙය 1881 දී නීතිගත කරන ලදි. මෙහි මූලික අරමුණ වූයේ එරට පුස්තකාලවලට අවශ්‍ය උපාංග හා ලිපි  ද්‍රව්‍ය සැපයීමයි. තවද 1883 දී නිව්යෝක් නගරයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පුස්තකාලයාධිපතිවරයා බවට පත්වූ අතර ඩිවි 1887 දී ලොව ප්‍රථම පුස්තකාල පාසල එහි ආරම්භ කරන ලදී. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම කැනඩාවේ ද පුස්තකාල විද්‍යා අධ්‍යාපනික ආයතන බිහිවිය.

1906 දක්වා ඔහු නිව්යෝර්ක් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයේ ලේකම් සහ විධායක නිලධාරියා ලෙස ද සේවය කරන ලදී. මේ අනුව අපට පෙනීයන්නේ ඇමරිකානු පුස්තකාලය තුළ ඩිවිගේ භූමිකාව නොසලකා හැරිය නොහැක්කක් වන අතර බටහිර පුස්තකාල විද්‍යාවේ පියා ලෙස හඳුන්වන මොහු පුස්තකාල ක්ෂේත්‍රය සඳහා මෙපමණ සේවයක් කරමින් විශිෂ්ට පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස 1931 දෙසැම්බර් 26 වන දින මෙලොවින් සමුගන්නා ලදී.

පර්යේෂණයක් සිදුකිරීම මගින් පර්යේෂකයකුට ලැබෙන ප්‍රතිලාභ

පර්යේෂකයෙකුට පර්යේෂණයක් සිදු කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ රාශියකි.  ඒ අනුව පර්යේෂකයෙකුට පර්යේෂණයක් සිදුකිරීම තුළින් ලැබෙන ප්‍රයෝජන නැතිනම් ප්...